සඳ මත ස්ථාවර කඳවුරක් ඉදිකිරීමේ ඇමරිකානු සැලසුම්වල කොටසක් ලෙස රොබෝ ලෑන්ඩර් යානා, ඩ්‍රෝන සහ විශේෂ වාහන පිළිබඳ තොරතුරු නාසා ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මෙම ව්‍යාපෘතිය සඳහා තෝරාගත් සමාගම් අතර ජෙෆ් බේසෝස්ට අයත් Blue Origin අභ්‍යවකාශ සමාගමද ඇතුළත් බවයි වාර්තා වන්නේ.
ඇමරිකාව 2029 ට පෙර නැවතත් මිනිසුන් සඳ මතට යැවීමේ සැලසුමක නිරත වන අතර, ඒ සඳහා චීනය සමඟ දැඩි අභ්‍යවකාශ තරඟයකද යෙදී සිටිනවා.
චීනයද 2030 වන විට මිනිසුන් සඳ මතට ගොඩබැස්වීමේ ඉලක්කයක් සමඟ ඉදිරියට යමින් සිටින අතර, පසුගියදා Shenzhou-23 අභ්‍යවකාශ යානය මගින් ගගනගාමීන් ‘ටියැන්ගොන්ග්’ අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යවා තිබුණා.
2032 වන විට සඳෙහි දක්ෂිණ ධ්‍රවයේ න්‍යෂ්ටික සහ සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක ස්ථාවර කඳවුරක් ඉදිකිරීමට ඩොලර් බිලියන 20ක වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව නාසා ආයතනය මීට පෙර නිවේදනය කර තිබෙනවා.
මෙම චන්ද්‍ර කඳවුර මගින් විද්‍යාත්මක පර්යේෂණ, වටිනා සම්පත් කැණීම් සහ අඟහරු ගමන් සඳහා පහසුකම් සැලසෙනු ඇති බව සඳහන්.
කෙසේ වෙතත් නාසා ආයතනය ඉදිරිපත් කරන කාලසටහන ප්‍රායෝගික නොවන බව ඇතැම් විශේෂඥයින් පෙන්වා දෙනවා.




