WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

කපිල චන්ද්‍රසේන මරණ පරීක්ෂණයේ තීන්දුව ජුනි 2ට කල්යයි

I
Ishanka Jayasuriya
May 29, 2026 · 2 min read
144 viewsf𝕏W
කපිල චන්ද්‍රසේන මරණ පරීක්ෂණයේ තීන්දුව ජුනි 2ට කල්යයි
අබිරහස් ලෙස මරණයට පත්වූ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන මහතාගේ මරණයට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණයේදී ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න සහ නීතිඥ උදාර මුහන්දිරම්ගේ යන මහත්වරුන් සාක්ෂියට කැඳවන්නේද නැද්ද යන්න පිළිබඳ නියෝගය ජුනි 2 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (29) දැනුම් දුන්නේය.
මෙම පරීක්ෂණය කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විය.
එහිදී අල්ලස් චෝදනා විමර්ශන කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවේ නීතිඥවරු ලෙස කටයුතු කළ ඉහත නීතිඥවරු දෙදෙනා අධිකරණය හමුවේ පෙනී සිටි බව සඳහන් විය.
ඉන් අනතුරුව ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තේජිත කෝරලගේ මහතා අධිකරණයට කියා සිටියේ, අධිකරණයෙන් සිතාසි නිකුත් නොකළද මාධ්‍ය වාර්තා අනුව අධිකරණයට ගරු කිරීමක් ලෙස ඔවුන් පෙනී සිටින බවය.
පසුව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා අධිකරණයට කරුණු දක්වමින්, නීතිඥවරයෙකු සහ සේවාදායකයෙකු අතර සිදුවන උපදේශන රහස්‍යභාවය නීතියෙන් ආරක්ෂා වන බවත්, එම කරුණු මෙම පරීක්ෂණයට කොතරම් අදාලදැයි සලකා බලන ලෙසත් ඉල්ලා සිටියේය.
ඉන්පසු පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ, කපිල චන්ද්‍රසේන මහතාට එරෙහි නඩුව සම්බන්ධයෙන් ඇප නියෝග සහ පසුව නිකුත් කළ වරෙන්තුවක් සම්බන්ධ කරුණු විමර්ශනය කර ඇති බවය.
එමෙන්ම වරෙන්තුව නිකුත් කළ දිනයේදී සිදු වූ සිදුවීම් සහ දුරකථන මගින් සිදු වූ සංවාද සම්බන්ධයෙන්ද විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කළේය.
එම කරුණු පැහැදිලි කිරීම සඳහා අදාළ නීතිඥවරුන් සාක්ෂියට කැඳවීමට අවශ්‍ය බවද පොලිසිය අධිකරණයට පැවසීය.
දෙපාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා, ජුනි 2 වනදා නියෝගය ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්නේය.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
කුඩා ගඟ අවට ප්‍රදේශවලට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක්
Next
ගාසා තීරයේ පාලනය පුළුල් කිරීමට ඊශ්‍රායලයට උපදෙස්

More in Breaking News