ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් නවසීලන්තයේ වෙලින්ටන් නුවර පිහිටි ශ්‍රී ලංකා නව මහ කොමසාරිස් කාර්යාලය ඊයේ (28) නිල වශයෙන් විවෘත කර තිබේ.
මෙම අවස්ථාව ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්ගෙ නිල නවසීලන්ත සංචාරයට සමගාමීව පැවැත්වුණු අතර, නවසීලන්ත විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් ප්‍රධාන ආරාධිතයා ලෙස එක්ව සිටියා.
ශ්‍රී ලාංකේය ආගමික වතාවත් සහ නවසීලන්තයේ සාම්ප්‍රදායික මාවෝරි ආශිර්වාදයන් මධ්‍යයේ උත්සවය ආරම්භ වූ අතර, එය දෙරටේ සංස්කෘතික අනන්‍යතාවන් මනාව පිළිබිඹු කළ අවස්ථාවක් බව වාර්තා වේ.
එහිදී අදහස් දැක්වූ අමාත්‍ය විජිත හේරත් සඳහන් කළේ, නවසීලන්තයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් ස්ථාපිත කිරීම දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික, ආර්ථික සහ සංස්කෘතික සබඳතාවල නව පරිච්ඡේදයක් ආරම්භ කරන බවයි.
මෙම අවස්ථාවට නවසීලන්ත විදේශ කටයුතු හා වෙළඳ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවේ නියෝජිතයන් සහ නවසීලන්තයේ පදිංචි ශ්‍රී ලාංකිකයන් පිරිසක් ද එක්ව සිටියා.
මෙම නව මහ කොමසාරිස් කාර්යාලය මඟින් නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් තිස්දහසකට අධික පිරිසක් සඳහා වඩාත් කාර්යක්ෂම කොන්සියුලර් සේවාවන් සැලසීමට අපේක්ෂා කරන අතර, දෙරට අතර වෙළඳ, අධ්‍යාපන සහ සංචාරක සහයෝගීතාවද තවදුරටත් වර්ධනය කිරීමට මඟ පෑදෙනු ඇතැයි සඳහන්.




