මෙරට සෞඛ්‍ය සේවාව ශක්තිමත් කරමින් කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන පියයුරු පිළිකා ඇතුළු රෝග තත්ත්වයන් මුල් අවධියේදීම හඳුනා ගැනීම සඳහා රුපියල් මිලියන 765ක වියදමින් අතිනවීන පියයුරු රෝග පරීක්ෂණ යන්ත්‍ර 5ක් ප්‍රධාන රෝහල් වෙත ලබාදීමට පියවර ගෙන තිබේ.
එක් යන්ත්‍රයක වටිනාකම රුපියල් මිලියන 153ක් වන අතර, මෙම වැඩසටහන සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන විදේශීය සංවර්ධන ආධාර යටතේ සපයා ඇත.
නව යන්ත්‍ර ස්ථාපිත කෙරෙන රෝහල්
▪️ කොළඹ ජාතික රෝහල
▪️ ගාල්ල කරාපිටිය ජාතික රෝහල
▪️ මහනුවර ජාතික රෝහල
▪️ අනුරාධපුර ශික්ෂණ රෝහල
▪️ මහරගම අපේක්ෂා රෝහල
මීට අමතරව ත්‍රිකුණාමලය සහ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල් සඳහාද පියයුරු රෝග පරීක්ෂණ යන්ත්‍ර දෙකක් ලබාදීමට නියමිතය.
දැනට දිවයින පුරා රෝහල්වල ක්‍රියාත්මක වන එවැනි යන්ත්‍ර සංඛ්‍යාව 16ක් පමණ වන අතර, නව යන්ත්‍ර එක්වීමෙන් එය 23 දක්වා ඉහළ යනු ඇත.
මෙම පහසුකම් හේතුවෙන් පියයුරු පිළිකා සහ අනෙකුත් අසාමාන්‍ය වෙනස්කම් කල්තියා හඳුනාගැනීමට හැකි වන අතර, පරීක්ෂණ සඳහා පවතින දිගු පොරොත්තු කාලයද සැලකිය යුතු ලෙස අඩුවනු ඇත.
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ මෙම නව යන්ත්‍ර මගින් ජනතාවට වඩාත් කඩිනම්, ගුණාත්මක හා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීමට හැකි වන බවයි




