WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

ප්‍රනාන්දුගේ පෙත්සම ජුනි 17 දා කැඳවයි

I
Ishanka Jayasuriya
June 1, 2026 · 2 min read
177 viewsf𝕏W
 ප්‍රනාන්දුගේ පෙත්සම ජුනි 17 දා කැඳවයි
කැරම් බෝඩ් සිද්ධියට අදාළව නීතිපතිවරයා ගොනු කර ඇති අධිචෝදනා පත්‍රය නීතියට පටහැනි බව ප්‍රකාශ කර එය බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය නලින් ප්‍රනාන්දු ගොනු කළ පෙත්සමක් කරුණු තහවුරු කිරීම සඳහා ජුනි 17 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.
මෙම පෙත්සම අද අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සලකා බැලූ අතර, විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබරි අධිකරණයට දැනුම් දුන්නේ අල්ලස් කොමිසම විසින් ගොනු කළ නඩුවකට අදාළව තම සේවාදායකයාට දැනටමත් බරපතළ වැඩ සහිත වසර 30ක සිරදඬුවමක් නියම කර ඇති බවයි.
එම චෝදනාම පදනම් කරගෙන නීතිපතිවරයා විසින් තවත් නඩුවක් ගොනු කිරීම එකම වරදකට දෙවරක් නඩු පැවරීමක් (Double Jeopardy) වන බැවින් එය නීතියට පටහැනි බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.
මේ සම්බන්ධයෙන් මහාධිකරණ නඩු විභාගයේදී මූලික විරෝධතා ඉදිරිපත් කළද, ඒවා ප්‍රතික්ෂේප කර ඇති බවද අධිකරණයට දැනුම් දී තිබේ.
ඒ අනුව, නීතිපතිවරයා ගොනු කර ඇති චෝදනා පත්‍රය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කර ඇති අතර, එය කරුණු තහවුරු කිරීම සඳහා ජුනි 17 වැනිදා යළි කැඳවීමට විනිසුරු මඩුල්ල නියෝග කළේය.
මෙම නඩුවට අනුව, 2015 ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  මහතාගේ දේශපාලන කාර්යාල වෙත බෙදාහැරීම සඳහා සතොස හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් ආනයනය කර බෙදා හැරීමෙන් රජයට රුපියල් මිලියන 39ක පාඩුවක් සිදු කළ බවට චෝදනා එල්ල වී තිබේ. එම චෝදනා යටතේ පොදු දේපළ පනත අනුව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩුව පවරා ඇත. 
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
මීගොඩ දන්සල් ඛේදවාචකයේ රියදුරු රිමාන්ඩ් බාරයට
Next
ඉරානය - අමෙරිකා සාකච්ඡා තාවකාලිකව නවතයි

More in Breaking News