පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) රඳවාගෙන සිටින හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ ඇතුළු සැකකරුවන් 19 දෙනාගේ තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ (01) CID මූලස්ථානයට පැමිණ තිබේ.
එහිදී මහේස්ත්‍රාත්වරයා රඳවා සිටින සැකකරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය, පහසුකම් සහ අනෙකුත් අවශ්‍යතා පිළිබඳ සොයා බැලූ අතර, අදාළ නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ද ලබාදී ඇති බව වාර්තා වේ.
පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව සුරේෂ් සලේ මහතා පෙබරවාරි 25 දින අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සම්බන්ධ රැඳවුම් නියෝගය තවත් දින 90කින් දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා හා ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අනුර කුමාර දිසානායක මහතා අවසර ලබාදී තිබේ.
සුරේෂ් සලේ මහතා පාස්කු ප්‍රහාර නඩුවේ තුන්වන සැකකරු ලෙස නම් කර ඇති අතර, ඒ සම්බන්ධ නඩු විභාගය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙයි. CIDය මේ වනවිටත් ඔහුගෙන් සහ අනෙකුත් සැකකරුවන්ගෙන් දීර්ඝ ප්‍රශ්න කිරීමක් සිදුකරමින් සිටී.




