දිවයින පුරා රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන සිසුන්ගේ නේවාසික පහසුකම් ඉහළ නැංවීමේ අරමුණින් නව නේවාසිකාගාර ව්‍යාපෘති 55ක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් අධ්‍යාපන අංශය සඳහන් කළේ මෙම ව්‍යාපෘති මගින් විශ්වවිද්‍යාල සිසුන් 16,000කට පමණ නව නේවාසික පහසුකම් සැලසෙන බවයි.
නැගෙනහිර, යාපනය, සබරගමුව, අග්නිදිග, ශ්‍රී ජයවර්ධනපුර, රජරට, ඌව වෙල්ලස්ස, වවුනියාව, මොරටුව, වයඹ සහ රුහුණ විශ්වවිද්‍යාල මෙන්ම ත්‍රිකුණාමලය මණ්ඩපය හා ගම්පහ වික්‍රමාරච්චි විශ්වවිද්‍යාලය ඇතුළු ආයතන රැසක් මෙම වැඩසටහනට ඇතුළත් කර තිබේ.
ව්‍යාපෘති අදියර තුනක් යටතේ ක්‍රියාත්මක වන අතර, බොහෝ විශ්වවිද්‍යාලවල ටෙන්ඩර් කැඳවීම්, මිලගණන් ඇගයීම්, සැලසුම් සකස් කිරීම් සහ ඉදිකිරීම් සඳහා භූමි සකස් කිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතී.
වැඩිම නේවාසික පහසුකම් සංඛ්‍යාවක් සබරගමුව සහ රජරට විශ්වවිද්‍යාල සඳහා හිමිවන අතර, එම එක් එක් විශ්වවිද්‍යාලවල සිසුන් 2,200 බැගින් නව නේවාසික පහසුකම්වල ප්‍රතිලාභීන් වනු ඇත.
මේ අතර, නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන් 1,600කට, අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් 2,000කට සහ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සිසුන් 1,800කට නව නේවාසික පහසුකම් සැලසීමට නියමිතය.
අමාත්‍යාංශය සඳහන් කළේ මෙම ව්‍යාපෘතිය මඟින් විශ්වවිද්‍යාල සිසුන් මුහුණ දෙන නේවාසිකාගාර හිඟය අවම කරමින්, උසස් අධ්‍යාපනය සඳහා වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට අපේක්ෂා කරන බවයි.




