2011 වසරේ යාපනයේදී අතුරුදන් වූ ලලිත් කුමාර් වීරරාජ් සහ කූගන් මුරුගානන්දන් සම්බන්ධ නඩුවේ සාක්ෂි ලබාදීම සඳහා හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඔන්ලයින් ක්‍රමයට පෙනී සිටීමට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය අද (02) අවසර ලබා දී තිබේ.
යාපනය මහේස්ත්‍රාත්වරයා හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී, ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම නඩුවේ සැකකරුවෙකු නොව සාක්ෂිකරුවෙකු වන බැවින්, ඔහු විසින් ඉදිරිපත් කර ඇති ආරක්ෂක ගැටලු සැලකිල්ලට ගනිමින් දුරස්ථව සාක්ෂි ලබාදීමට ඉඩ ලබාදීමට තීරණය කළ බව අධිකරණය සඳහන් කළේය.
මීට පෙර ගෝඨාභය රාජපක්ෂ මහතා යාපනය අධිකරණයට පැමිණීමෙන් තම ආරක්ෂාවට තර්ජනයක් ඇතිවිය හැකි බව පවසමින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුට පෞද්ගලිකව අධිකරණයේ පෙනී සිටීම වළක්වාලන අතුරු නියෝගයක් ද නිකුත් කර තිබිණි.
පසුව ජනාධිපති ධුරය දැරූ කාලය තුළ ඔහුට හිමිව තිබූ ව්‍යවස්ථාමය මුක්තිය හේතුවෙන් නඩු කටයුතු අත්හිටුවුණද, 2022 වසරේදී ජනාධිපති ධුරයෙන් ඉවත්වීමෙන් අනතුරුව එම නීතිමය බාධාව ඉවත් විය.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ් සහ කූගන් මුරුගානන්දන් 2011 දෙසැම්බර් 09 දින යාපනය අච්චුවේලි ප්‍රදේශයේදී අතුරුදන් වූ අතර, එම සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර ඇති හබයාස් කෝපුස් පෙත්සමට අදාළව මෙම නඩු විභාගය පැවැත්වේ.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඔන්ලයින් සාක්ෂි ලබාදීමේ ක්‍රමවේදය තීරණය කිරීම සඳහා නඩුව ජුනි 19 වැනිදා යළි කැඳවීමට නියමිතය.




