ජාතික ක්‍රීඩා සංගම් තුනක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවමින් එම සංගම්වල පාලනය හා පරිපාලනය තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා යටතට පත් කිරීමට තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
අංක 2489/48 දරන මෙම ගැසට් නිවේදනය සංශෝධිත 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 32 සහ 33 වගන්ති යටතේ අමාත්‍යවරයාට හිමි බලතල ප්‍රකාරව නිකුත් කර ඇත.
ඒ අනුව තාවකාලිකව ලියාපදිංචිය අත්හිටුවා ඇති සංගම් වන්නේ ශ්‍රී ලංකා අත්පන්දු සංගමය, ශ්‍රී ලංකා කැරම් සංගමය සහ ශ්‍රී ලංකා හොකී සංගමයයි.
අදාළ සංගම්වල පාලන, පරිපාලන සහ අනෙකුත් අත්‍යවශ්‍ය කටයුතු නිසි පරිදි පවත්වාගෙන යාම සඳහා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා “නිසි බලධාරියා” ලෙස පත් කර ඇති අතර, එම පත් කිරීම 2026 මැයි 19 වැනිදා සිට බලපැවැත්වේ.
මෙම තීරණයට හේතු ලෙස සංගම්වල ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම සහ නව නිලධාරී මණ්ඩල තෝරාපත් කරගැනීම සඳහා විනිවිදභාවයෙන් යුතු නිලවරණ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පෙන්වා දී ඇත.
නව සංශෝධිත ව්‍යවස්ථා යටතේ වාර්ෂික මහ සභා රැස්වීම් පවත්වා නිලවරණයකින් නව නිලධාරීන් තෝරාපත් කරන තෙක් එම සංගම්වල සියලු කටයුතු කළමනාකරණය කිරීමේ බලය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත පැවරෙනු ඇත.




