ගෙවී ගිය මාසය තුළ අන්තර්ජාලය හරහා සිදුවූ මූල්‍ය වංචා සම්බන්ධයෙන් සිද්ධීන් 360කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) පවසයි.
එහි ප්‍රධාන තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුපොල මහතා සඳහන් කළේ, වෙසක් සහ පොසොන් උත්සව සමයන් ඉලක්ක කර ගනිමින් ජනප්‍රිය වෙළෙඳ සන්නාමයන්ගේ නමින් ව්‍යාජ දැන්වීම් ප්‍රචාරය කර පුද්ගලික හා බැංකු තොරතුරු සොරකම් කිරීමේ සිද්ධීන් වැඩි වශයෙන් වාර්තා වී ඇති බවයි.
ඔහු ජනතාවට අවධාරණය කළේ, අන්තර්ජාලය ඔස්සේ ගෙවීම් සිදු කිරීමේදී අදාළ වෙබ් අඩවිය නිල සහ ආරක්ෂිත එකක්දැයි තහවුරු කර ගැනීම අත්‍යවශ්‍ය බවයි. එසේම කෙටි පණිවිඩ හෝ සමාජ මාධ්‍ය හරහා ලැබෙන සැකසහිත සබැඳි වෙත පිවිස පුද්ගලික තොරතුරු ඇතුළත් කිරීමෙන් වැළකී සිටින ලෙසද ඔහු ඉල්ලා සිටියේය.




