ශ්‍රී ලංකාව ලොව විශාලතම නිදහස් වෙළෙඳ හවුල්කාරීත්වයට එක්වීම සඳහා ගෙන යන රාජ්‍යතාන්ත්‍රික උත්සාහයන් සාර්ථක ප්‍රගතියක් ලබා ඇති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය වෙත කළ නිල සංචාරය අතරතුර, එම හවුල්කාරීත්වයේ ප්‍රධාන සාමාජික රටවල් දෙකක් වන ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය ශ්‍රී ලංකාවේ සාමාජිකත්ව අපේක්ෂාවට පූර්ණ සහාය ලබාදීමට එකඟතාව පළ කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ගෝලීය ජනගහනය සහ ආර්ථික නිෂ්පාදනය අතින් ලොව විශාලතම නිදහස් වෙළෙඳ එකඟතාව ලෙස සැලකෙන මෙම හවුල්කාරීත්වයට ආසියානු කලාපීය රටවල් දහයක් සමඟ ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ජපානය, චීනය සහ දකුණු කොරියාව ඇතුළත් වේ.
ශ්‍රී ලංකාව මෙම රටවල් සමඟ වෙළෙඳ හා ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් එහි සාමාජිකත්වය ලබා ගැනීමට කටයුතු ආරම්භ කර ඇති අතර, අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙම සංචාරය ඒ සඳහා ශක්තිමත් පදනමක් සකස් කර ඇති බවයි.
මේ අතර, ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ඍජු ගුවන් සබඳතා තවදුරටත් පුළුල් කිරීම පිළිබඳවද එකඟතාවකට පැමිණ ඇති බව වාර්තා වේ.
ඒ අනුව, එළඹෙන අගෝස්තු මාසයේ සිට දෙරට අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කිරීමට ඔස්ට්‍රේලියාව අපේක්ෂා කරන බව විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.




