නාවලපිටිය මාපාකන්ද ප්‍රදේශයේ අද (04) උදෑසන සිදුවූ අවාසනාවන්ත අනතුරකින් පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.
ප්‍රධාන මාර්ගය අසල තිබූ විශාල යූකැලිප්ටස් ගසක් කඩාවැටී, නාවලපිටිය දෙසට ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයක් මතට පතිත වීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.
අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පාසල් සිසුවෙකු, ඔහුගේ මව සහ තවත් කාන්තාවක බව වාර්තා වේ. එමෙන්ම ත්‍රිරෝද රථයේ රියදුරු අනතුරෙන් දිවි බේරාගෙන ඇති බවද සඳහන්ය.
අද පෙරවරු 6.45ට පමණ සිදුවූ මෙම අනතුරෙන් පසු නාවලපිටිය පොලිසියේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව ගස ඉවත් කර මියගිය තිදෙනාගේ සිරුරු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත රැගෙන ගොස් තිබේ.
ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ, දිරාපත්ව තිබූ මෙම ගස කපා ඉවත් කරන ලෙස මීට පෙර කිහිප වරක් අදාළ බලධාරීන් දැනුවත් කළද ඒ සඳහා නිසි පියවරක් නොගැනීම හේතුවෙන් මෙම ඛේදවාචකය සිදුව ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.




