පාතාල කල්ලි නායකයෙකු ලෙස සැලකෙන මාකඳුරේ මධුෂ් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව, කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) හිටපු අධ්‍යක්ෂ ජනක් නන්දන ඇතුළු නිලධාරීන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
මෙම නියෝගය ශානි අබේසේකර මහතාගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත නිකුත් කර ඇත.
අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ, අදාළ නිලධාරීන් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය.
පෙත්සම්කරුවන් සඳහන් කර ඇත්තේ, මෙම විමර්ශනය හේතුවෙන් තමන්ව අනීතික ලෙස අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බවයි. ඒ අනුව තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන ලෙසත්, විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂවරයාගෙන් ඉවත් කරන ලෙසත් ඔවුන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබුණි.
පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා කරුණු ඉදිරිපත් කළ අතර, නඩුව මැයි මස 15 වනදා යළි කැඳවීමට නියම කර ඇත.




