මැදපෙරදිග යුද ගැටුම් ආරම්භ වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු බොරතෙල් රැගත් නෞකාව හෙට (17) දිනයේ දිවයිනට ළඟා වීමට නියමිත බව ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සඳහන් කරයි.
එහි කළමනාකරණ අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර මහතා පැවසුවේ, එම නෞකාව මඟින් බොරතෙල් මෙට්‍රික් ටොන් 97,500ක් මෙරටට රැගෙන එන බවයි.
තවද, මෙම මාසයේ අවසානයට තවත් නෞකාවක්ද ශ්‍රී ලංකාවට පැමිණීමට සැලසුම් කර ඇති අතර, අමෙරිකාවෙන් එන WTI වර්ගයේ බොරතෙල් රැගත් නෞකාවක්ද මේ වනවිට නැව්ගත කරමින් පවතින බව ඔහු පැවසීය.
ඒ අනුව, පසුගිය කාලය තුළ ලංකා ඛනිජතෙල් සංස්ථාව මුහුණ දුන් බොරතෙල් සැපයුම් ගැටලු මේ වනවිට විසඳාගෙන ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.




