WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

මැදපෙරදිග මෙහෙයුම්වලදී ශ්‍රී ලාංකික අපරාධකරුවන් අත්අඩංගුවට

I
Ishanka Jayasuriya
April 16, 2026 · 2 min read
273 viewsf𝕏W
මැදපෙරදිග මෙහෙයුම්වලදී ශ්‍රී ලාංකික අපරාධකරුවන් අත්අඩංගුවට

ඩුබායි ඇතුළු මැදපෙරදිග රටවල සැඟවී සිටින අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා එම රටවල් ආරක්ෂක අංශ දියත් කළ විශේෂ මෙහෙයුම්වලදී ශ්‍රී ලාංකික අපරාධකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.
පොලිස් ආරංචිමාර්ග අනුව, එලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වනවිට ගෙන යමින් පවතින බවද පැවසේ.
ආරක්ෂක අංශ අනාවරණ කරගෙන ඇත්තේ, ශ්‍රී ලංකාවේ සිදුවන බහුතර අපරාධ ක්‍රියාවන් විදේශගතව සිටින ශ්‍රී ලාංකික අපරාධකරුවන් විසින් මෙහෙයවනු ලබන බවයි. එම පිරිස ඉරානයේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සෘජු සබඳතා පවත්වා මෙරටට මත්ද්‍රව්‍ය සැපයූ බවද පසුගිය වැටලීම්වලදී හෙළි වී තිබේ.
විදේශගත අපරාධකරුවන්ට එරෙහිව රතු වරෙන්තු නිකුත් කර තිබුණද, ඔවුන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පෙර කාලයේ ප්‍රගතියක් නොතිබූ බවද වාර්තා වේ. කෙසේවෙතත්, මැදපෙරදිග කලාපයේ උද්ගත වූ ආරක්ෂක තත්ත්වයන් හේතුවෙන්, එම රටවල් ඉරානය සමඟ සබඳතා පවත්වන අපරාධකරුවන් හඳුනාගැනීමට දැඩි මෙහෙයුම් ආරම්භ කර ඇත.
ඒ අනුව ශ්‍රී ලාංකික අපරාධකරුවන් රැසක් මේ වනවිටත් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වන අතර, එය නිලවශයෙන් තහවුරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය එම රටවලින් තොරතුරු ඉල්ලා තිබේ.
මෙම තත්ත්වය මත සමහර අපරාධකරුවන් මැදපෙරදිගින් යුරෝපා රටවල් වෙත පලායෑමට උත්සාහ දරන බවද අනාවරණය වේ. එහි කොටසක් ලෙස, ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයෙකු හෙට (17) මෙරටට රැගෙන ඒමට නියමිත බවද වාර්තා වේ.
මෙතෙක්, කරන්දෙණිය ප්‍රදේශයට සම්බන්ධ සිද්ධියක් යටතේ 30 හැවිරිදි කාන්තාවක් ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇය සතුව තිබූ මුදල් හා රත්‍රං තොගයක්ද සොයාගෙන ඇත.
අදාළ සිද්ධි සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලීසිය විසින් තවදුරටත් සිදුකරමින් පවතී.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
අප්‍රේල් 12 සිට දියේ ගිලී⁣මෙන් මරණ 20ක් –
Next
දැදුරු ඔයේ අනතුරින් මරණ 6ක් දක්වා ඉහළට

More in Breaking News