අල්ලස් චෝදනාවකට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපති සරත් කෝන්ගහගේ සහ හිටපු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් දේවප්‍රිය අබේසිංහ යන අය ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
මෙම තීරණය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් ගෙන ඇත්තේ, අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරුවන්ගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවය.
ඒ අනුව සැකකරුවන් එක් එක්ව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර ඇති අතර, ඔවුන්ට විදේශ ගමන් තහනමක්ද පනවා ඇත.
අදාළ නඩුව නැවත ලබන සැප්තැම්බර් 08 වනදා කැඳවීමට නියමිත අතර, එදිනට විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කිරීමටද නියෝග කර ඇත.
අනුමත සංඛ්‍යාවට පිටත සේවකයින් හයදෙනෙකු බඳවාගෙන ඔවුන් එවකට ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට යොමු කිරීම මගින් සංස්ථාවට පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබුණි.




