නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනා රුපියල් ලක්ෂ 51කට ආසන්න වටිනාකමකින් යුත් විදේශීය දුම්වැටි තොගයක් කටුනායකදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ දුම්වැටි තොගය රැගෙන ආ විදේශීය ගුවන් මගියෙකු, ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ‘හරිත මාවත’ ඔස්සේ පිටවීමට උත්සාහ කිරීමේදී අද (19) අලුයම ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු 36 හැවිරිදි බංගලාදේශ ජාතික ව්‍යාපාරිකයෙකු වන අතර, ඔහු තායිලන්තයේ බැංකොක් නගරයෙන් තායි ගුවන් සේවයට අයත් ටී.ජී.-307 ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළට පැමිණ තිබුණි.
ඔහු රැගෙන ආ ගමන් මලු දෙකක් තුළ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 34,000ක් අඩංගු කාටූන් 170ක් සඟවා තිබූ බව රේගු පරීක්ෂණයේදී අනාවරණය වී ඇත.
පසුව එම දුම්වැටි සියල්ල රාජසන්තක කර ඇති අතර, සැකකරුට රුපියල් ලක්ෂයක දඩ මුදලක් ගෙවීමටද නියෝග කර තිබේ.




