මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලේ ටෙන්ඩර් ගනුදෙනුවකට අදාළව රුපියල් 30,000ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා මත එම රෝහලේ ගණකාධිවරයෙකු සහ කළමනාකරණ සහකාරවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේ, මුලතිව් ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් කළ පැමිණිල්ලක් අනුව ඊයේ (18) පෙරවරුවේ මෙම වැටලීම සිදු කළ බවයි.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, රෝහලේ ඇඳ ඇතිරිලි සේදීම හා පිරිසිදු කිරීම සඳහා ලබාගත් ටෙන්ඩරයට අදාළව මාර්තු මාසයට ගෙවිය යුතු මුදල ඇතුළත් චෙක්පත නිදහස් කිරීම සඳහා සැකකරුවන් මෙම අල්ලස ඉල්ලා ඇති බවයි.
අදාළ මුදල රෝහලේ ගිණුම් අංශය තුළ ලබාගන්නා අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් දෙදෙනා මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.




