WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

ඉන්දීය උප ජනපති – ජනපති හමුවෙයි

I
Ishanka Jayasuriya
April 19, 2026 · 1 min read
246 viewsf𝕏W
  ඉන්දීය උප ජනපති – ජනපති හමුවෙයි
දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධක්‍රිෂ්ණන් මහතා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබේ.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව පැවැති බවයි. එහිදී දෙරට අතර දිගුකාලීන ඓතිහාසික හා සංස්කෘතික සබඳතා පිළිබඳව ගැඹුරු ලෙස අදහස් හුවමාරු කර ඇති අතර, අනාගත සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම පිළිබඳවද අවධානය යොමු කර ඇත.
තවද, ඉන්දියානු ආධාර යටතේ ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘති සහ දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 450ක වටිනාකමකින් යුත් සංවර්ධන සහ පුනරුත්ථාපන වැඩසටහන් සම්බන්ධයෙන්ද දෙපාර්ශවය අතර සාකච්ඡා පැවැති බව සඳහන් වේ.
ඉන්දීය උප ජනාධිපතිවරයා අද (19) පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා වූ අතර, ඔහු තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් පිළිගනු ලැබීය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් ද එක්ව සිටියහ.
මෙම සංචාරය අතරතුරදී ඔහු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමඟද ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර, ශ්‍රී ලංකාවේ වෙසෙන ඉන්දීය ප්‍රජාව හමුවීමටද සැලසුම් කර ඇත.
එමෙන්ම බම්බලපිටිය කදිරේෂන් කෝවිල සහ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වීමටද ඔහු අපේක්ෂා කරයි.
හෙට (20) දිනයේ නුවරඑළිය ප්‍රදේශයේ ඉන්දියානු ආධාර යටතේ ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘති නිරීක්ෂණය කිරීමත්, මලෛයගම් ප්‍රජාව හමුවීමත් ඔහුගේ වැඩසටහනට ඇතුළත් වේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
අල්ලස් ගැනීම සම්බන්ධව මුලතිව් රෝහලේ නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට
Next
බොස්ටන් මැරතන් හෙට – ශ්‍රී ලංකාවේ ගාමිණී සුගතදාසත් තරග

More in Breaking News