දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය උප ජනාධිපති සී. පී. රාධාක්‍රිෂ්ණන් මහතා අද (19) කොළඹ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවී සාකච්ඡා පවත්වා තිබේ.
මෙහිදී දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා සහ ජනතාව අතර අන්‍යෝන්‍ය සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව අවධානය යොමු කර ඇත.
අරලියගහ මන්දිරයේදී පැවැති දිවා භෝජන සංග්‍රහය අතරතුර දෙරටට අයත් පොදු සංස්කෘතික හා ශිෂ්ටාචාර උරුමයන් පිළිබඳවද අදහස් හුවමාරු කරගෙන ඇත.
එමෙන්ම, ඉන්දීය උප ජනාධිපතිවරයා කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කිරීම පිළිබඳව සාකච්ඡා කර තිබේ.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල ප්‍රකාශකවරයා සඳහන් කළේ, පොදු ඉතිහාසය සහ සංස්කෘතික සබඳතා මත පදනම්ව දෙරට අතර සබඳතා ගැඹුරු කිරීම කෙරෙහි නායකයන්ගේ අවධානය යොමු වූ බවයි.
තවද, ඉන්දියාවේ “අසල්වැසියාට ප්‍රමුඛත්වය” ප්‍රතිපත්තිය යටතේ ශ්‍රී ලංකාවට දක්වන සහයෝගය යළි තහවුරු කර ඇති අතර, දෙරටටම ප්‍රතිලාභ ලැබෙන ආකාරයෙන් සහයෝගීතාව වර්ධනය කිරීමේ වැදගත්කමද අවධාරණය කර ඇත.
ඉන්දීය නිවාස ව්‍යාපෘති සහ දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රදේශ සඳහා ලබාදුන් අමෙරිකානු ඩොලර් මිලියන 450ක සහන පැකේජය යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර ඇත.
ඉන්දීය උප ජනාධිපතිවරයා අද උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත 49 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් සමඟ පැමිණ ඇති අතර, හෙට (20) දින දක්වා මෙරට රැඳී සිටීමට නියමිතය.




