ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (19) පෙරවරුවේ වැල්ලවත්තේ පිහිටි අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත ගොස්, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහනායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගෙන තිබේ.
එහිදී මහා නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නය සෙත් පිරිත් සජ්ඣායනය කරමින් ජනාධිපතිවරයාගේ ඉදිරි කටයුතු සාර්ථකව සිදු වීමට ආශිර්වාද පළ කළහ. එමෙන්ම රටේ යහපත් අනාගතයක් ගොඩනැගීමට ශක්තිය හා ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කර ඇත.
මෙම අවස්ථාවට අමරපුර මහා සංඝ සභාවේ වැඩබලන සභාපතිවරයා ඇතුළු නායක ස්වාමීන් වහන්සේලා කිහිප දෙනෙකුද සහභාගී වූ අතර, ජනාධිපතිවරයා මහා සංඝ රත්නය සමඟ කෙටි පිළිසඳරකටද එක්ව තිබේ.
එමෙන්ම අමරපුර මහා නිකායේ දායක සභාවේ නිලධාරීන් සහ සාමාජිකයින් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.




