කටුනායක ගුවන් තොටුපොළෙන් මත්ද්‍රව්‍ය තොගයක් පිටතට රැගෙන යාමට උත්සාහ කළ විදෙස් ජාතිකයින් දෙදෙනෙකු අද අලුයම ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට පත් වූවන් ඉන්දුනීසියානු ජාතිකයින් වන අතර ඔවුන්ගෙන් එක් අයෙකු 22 හැවිරිදි පුරුෂයෙකුද, අනෙක් අය 30 හැවිරිදි කාන්තාවක්ද වේ.
මෙම මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නගරයෙන් මිලදී ගෙන ඉන්දියාවේ බැංගලෝර් නගරයට රැගෙන ගොස්, එතැන් සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගෙන ආ බව අනාවරණය වී ඇත.
එහිදී එම මත්ද්‍රව්‍ය තොගය මෙරටින් පිටත් කරවීමට උත්සාහ කර ඇති අතර, නිලධාරීන් විසින් එය අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 401ක් වන අතර එහි වටිනාකම රුපියල් හය කෝටි හතලිස් ලක්ෂ දස දහසකට ආසන්න බව සඳහන් වේ.
මෙම මත්ද්‍රව්‍ය ගමන්මලු දෙකක් තුළ පැකට් පහක් ලෙස සඟවා තිබී ඇත. සැකකරුවන් දෙදෙනා අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රඳවා තබාගෙන වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිතය.




