මහනුවර මහ නගර සභාව යටතේ පාලනය වන මහයියාව අදාහනාගාරය අද (06) සිට ඔන්ලයින් මගින් වෙන්කර ගැනීමේ පහසුකම නගර සභාව හඳුන්වා දී තිබේ.
නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ පැවසුවේ, මීට පසු මහයියාව අදාහනාගාරය වෙන්කර ගැනීම සඳහා නගර සභාවට පැමිණිය යුතු අවශ්‍යතාවයක් නොමැති බවයි.
පසුගිය කාලයේ නගර සභාවට ආදායම් උත්පාදනය කරන සේවා ස්ථාන ගණනාවක වංචා හා දූෂණ වාර්තා වී තිබීමත්, මහජනතාවගේ පහසුව සැලකිල්ලට ගනිමින් නව ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවත් කොමසාරිස්වරිය සඳහන් කළා.
අදාහනාගාර වෙන්කිරීමේ තොරතුරු මහනුවර මහ නගර සභාවේ වෙබ් අඩවියෙන් ලබාගත හැකිය. මේ වනවිට නගර සභාවේ ජල බිල්පත් ගෙවීම්ද මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදුකළ හැකි බවයි. ඉදිරියේදී නගර සභාවට අයත් ගෘහස්ථ ක්‍රීඩාංගණ වෙන් කිරීමද ඔන්ලයින් ක්‍රමය ඔස්සේ සිදුකරන බව ද කොමසාරිස්වරිය කියා තිබේ.
මෙම අවස්ථාවට මහනුවර නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක, නියෝජ්‍ය නගරාධිපති රුවන් කුමාර ගලපිටිය ඇතුළු නාගරික මන්ත්‍රීවරු සහ නගර සභා නිලධාරීන් සහභාගීව සිටියා.




