ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයකුට පහරදී රුපියල් 380,000ක මුදලක් කොල්ලකෑ බව කියන ගල්කිස්ස මූලස්ථාන පොලීසියේ කොස්තාපල්වරු දෙදෙනෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉකුත් 15 වන දින මොරටුව අඟුලාන සයුරුපුර මහල් නිවාස සංකීර්ණයේ පදිංචිකරුවෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර ඇති අතර, ඒ අනුව සැකකාර කොස්තාපල්වරුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, එම මුදල් සීට්ටු මුදල් ලෙස පැමිණිලිකරු විසින් ප්‍රකාශ කළද, එය විදේශගතව මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන ‘කුඩු අංජු’ නමැති පුද්ගලයෙකුට අයත් මුදල් බවට සැක පහල වී ඇති බවයි.
එම මුදල් ප්‍රවාහනය කරමින් සිටියදී මෙම සිදුවීම සිදුව ඇති බවද විමර්ශනවලින් අනාවරණය වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
මේ අතර, මුදල් ලබාදුන් බව කියන කාන්තාවකගෙන්ද ප්‍රශ්න කර ඇති අතර, ඇයද එය සීට්ටු මුදල් බව ප්‍රකාශ කළද එය තහවුරු කිරීමට නොහැකි වූ බව විමර්ශනවලින් පෙන්වා දී ඇත. එම කාන්තාවද පසුව අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් 55 හැවිරිදි එම කාන්තාව, මීට පෙරද මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා මත අත්අඩංගුවට පත්වූ අයෙකු බවද පොලීසිය සඳහන් කරයි.
සැකකරුවන් තිදෙනා ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.




