හෙපටයිටීස් – බී (Hepatitis B) රෝගය ඇතුළු ගැබිණි මව්වරුන්ගේ රුධිර පරීක්ෂණ ඇතුළත් “Triple Elimination” වැඩසටහන ජූනි 01 සිට දිවයින පුරා ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මෙම වැඩසටහන මගින් මවගෙන් දරුවාට HIV, සිපිලිස් (Syphilis) සහ හෙපටයිටීස් – බී (Hepatitis B) සම්ප්‍රේෂණය වැළැක්වීම අරමුණ වන බවද සඳහන් වේ.
මීට පෙර ක්‍රියාත්මක වූ HIV සහ සිපිලිස් “ද්විත්ව තුරන් කිරීම” වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වූ අතර, 2019 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ශ්‍රී ලංකාවට ඒ සඳහා සහතිකයක්ද ලබාදී තිබේ.
ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ විශේෂඥ වෛද්‍ය නිමාලි ජයසූරිය මහත්මිය පවසන්නේ මේ වනවිට මවගෙන් දරුවාට HIV සහ සිපිලිස් සම්ප්‍රේෂණය ඉතා අවම මට්ටමක පවතින බවයි.
එමෙන්ම පවුල් සෞඛ්‍ය කාර්යංශයේ විශේෂඥ වෛද්‍ය සංජීව ගොඩකන්ද මහතා සඳහන් කරන්නේ, නව වැඩසටහන යටතේ ගැබිණි මවක් ලෙස ලියාපදිංචි වන අවස්ථාවේදීම හෙපටයිටීස් – බී පරීක්ෂාව සිදුකිරීමට නියමිත බවය.
මෙම ක්‍රමවේදය මගින් මාතෘ සහ ළමා සෞඛ්‍ය ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් වනු ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.




