හැටන් – බගවන්තලාව මාර්ගයේ නෝර්වුඩ් වෙන්චර් වත්ත ප්‍රදේශයේ අද (22) උදෑසන සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුවෙකු තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ පෞද්ගලික බස් රථයක් සහ ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී ඇති බව පොලිසිය සඳහන් කළා.
අද උදෑසන 7.10ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ටිපර් රථය ලිස්සා ගොස් බස් රථයේ ගැටී ඇති බවට වාර්තා වනවා.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ සිසුන් සහ ගුරුවරුන් 20 දෙනෙකු පමණ ගමන් කර ඇති අතර, අනතුරින් බස් රථයට සහ ටිපර් රථයටද දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.
අයහපත් කාලගුණයත් සමඟ මාර්ගවල රථවාහන ධාවනය කිරීමේදී දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස නෝර්වුඩ් පොලිසිය රියදුරන්ට දැනුම් දී තිබෙනවා.




