දිවයින හරහා නිරිත දිග මෝසම ක්‍රමයෙන් ස්ථාපිත වීමත් සමඟ ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අද (23) පස්වරු 6.00 වන විට දිස්ත්‍රික්ක 6ක පවුල් 6,907කට අයත් පුද්ගලයින් 27,419 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ප්‍රදේශයේදී 64 හැවිරිදි පුද්ගලයෙකු දියේ ගසාගෙන යාමෙන් එක් මරණයක් ද වාර්තා වී තිබේ.
ආපදාවට ලක්වූ ජනතාව සඳහා මේ වනවිට සුරක්ෂිත මධ්‍යස්ථාන 17ක් ස්ථාපිත කර ඇති අතර, එහි පවුල් 351කට අයත් පුද්ගලයින් 1,192 දෙනෙකු රඳවා සිටින බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය.
තවද නිවාස 2ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, තවත් නිවාස 807කට අර්ධ හානි සිදුව ඇති බව ද වාර්තා වෙයි.




