කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ එළැඹෙන මැයි 26 හෝ 27 වනදා වනවිට නිරිත දිග මෝසම දිවයින හරහා ස්ථාපිත විය හැකි බවත්, ඒ සමඟ නිරිතදිග ප්‍රදේශවලට වැසි තත්ත්වය වැඩිවිය හැකි බවත්ය.
පසුගිය දිනවල ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් කැලණි ගඟ ඇතුළු ප්‍රධාන ගංගා රැසක ජල මට්ටම් ඉහළ ගොස් ගංවතුර තත්ත්වයන් ඇතිවූ අතර, මේ වනවිට බොහෝ ගංගාවල ජල මට්ටම් ක්‍රමයෙන් සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කෙසේවෙතත් කළු ගඟේ කුඩා ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් තවදුරටත් සුළු ගංවතුර තත්ත්වයක් පවතින අතර, හොරණ බැල්ලපිටිය ඇතුළු පහත් බිම් රැසක් තවමත් ජලයෙන් යටවී තිබේ.
එමෙන්ම බුලත්සිංහල – කළුතර මාර්ගයේ දීයකඩුව ප්‍රදේශය ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයටද බාධා එල්ල වී ඇත.
අත්තනගලු ඔයේ ජල මට්ටම පහළ යමින් පැවතියද දූනමලේ සහ අවට ජනතාව තවදුරටත් විමසිල්ලෙන් පසුවිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දී තිබේ.
මේ අතර, අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 8ක පවුල් 7482කට අයත් පුද්ගලයින් 28,933 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
පවුල් 491කට අයත් පුද්ගලයින් 1731 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 18ක රඳවා සිටින අතර, නිවාස 836කට අර්ධ හානි සහ නිවාස 2ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවද වාර්තා වෙයි.




