කාන්තාවන් අතර බහුලව පැතිරෙන ගැබ්ගෙල පිළිකාව කල්තියා හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කාර්යක්ෂම කිරීම සඳහා අති නවීන කොල්පොස්කොපි යන්ත්‍ර 12ක් රජයේ රෝහල් පද්ධතියට එක්කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මෙම එක් යන්ත්‍රයක වටිනාකම රුපියල් ලක්ෂ 60ක් වන අතර, ඒ සඳහා රුපියල් මිලියන 72කට අධික මුදලක් වැය කර තිබේ.
අනුරාධපුර, බදුල්ල, මඩකලපුව, යාපනය, කුරුණෑගල, මහනුවර, ගම්පහ, මාතර, මොනරාගල, පුත්තලම සහ හම්බන්තොට ඇතුළු ප්‍රධාන රෝහල්වල මේ වනවිටත් මෙම යන්ත්‍ර ස්ථාපිත කර ඇත.
එමෙන්ම ලබන මාසයේදී තවත් යන්ත්‍ර 6ක් අම්පාර, රාගම, කළුතර, කුලියාපිටිය, මාතලේ සහ වව්නියාව රෝහල්වල ස්ථාපිත කිරීමටද සැලසුම් කර තිබේ.
මෙම සියලු යන්ත්‍ර ස්ථාපිත කිරීමෙන් පසු රජයේ රෝහල්වල ක්‍රියාත්මක කොල්පොස්කොපි යන්ත්‍ර සංඛ්‍යාව 33 දක්වා ඉහළ යනු ඇත.
ගැබ්ගෙල සහ යෝනි මාර්ගයේ අසාමාන්‍යතා හඳුනා ගැනීම සඳහා භාවිත කරන මෙම යන්ත්‍ර මගින් පිළිකා පූර්ව අවධියේදී හඳුනාගෙන ප්‍රතිකාර ලබාදීමට හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
ජාතික පිළිකා මර්දන වැඩසටහනට අනුව, මෙරට වසරකට නව ගැබ්ගෙල පිළිකා රෝගීන් 1,200ක් පමණ හඳුනාගන්නා අතර, රෝගය හේතුවෙන් වසරකට පුද්ගලයින් 180ක් පමණ මියයති.




