රුපියල් ලක්ෂ 60කට අධික වටිනාකමකින් යුත් විදේශීය දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ චීන ජාතික ව්‍යාපාරිකයින් තිදෙනෙකු අද (25) අලුයම කටුනායක ගුවන් තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අවුරුදු 31, 36 සහ 40 වයස්වල පසුවන සැකකරුවන්, “ප්‍රකාශ කිරීමට කිසිවක් නොමැත” යන හරිත මාවත ඔස්සේ පිටවීමට උත්සාහ කළ අවස්ථාවේදී මෙම වැටලීම සිදුකර ඇත.
රේගු නිලධාරීන් සඳහන් කළේ, චීනයෙන් මිලදී ගත් දුම්වැටි තොගය මැලේසියාවේ ක්වාලාලම්පූර් හරහා ශ්‍රී ලංකාවට රැගෙනවිත් ඇති බවයි. ඔවුන්ගේ ගමන් මලු 06ක් තුළ සඟවා තිබූ දුම්වැටි 40,000ක් අඩංගු කාටූන් 202ක් එහිදී සොයාගෙන ඇත.
අදාළ දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් 60 ලක්ෂ 60 දහසක් පමණ වන බව රේගුව සඳහන් කළ අතර, සැකකරුවන් මේ වනවිට කටුනායක ගුවන් තොටුපොළ රේගු භාරයේ රඳවාගෙන වැඩිදුර විමර්ශන සිදුකරයි.




