ජාතික හා පළාත් පාසල්වල සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා පැවැත්වූ තරග විභාගයට උපාධිධාරීන් 160,000කට අධික පිරිසක් අයදුම්පත් යොමුකර තිබූ බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.
රාජ්‍ය සේවයේ නියුතු සහ අනෙකුත් උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා වූ මෙම තරග විභාගය ඊයේ (24) දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 1048කදී පැවැත්වුණා.
ඒ සඳහා රාජ්‍ය සේවයේ නියුතු අයදුම්කරුවන් 66,991 දෙනෙකු සහ අනෙකුත් උපාධිධාරීන් 96,442 දෙනෙකු ලෙස සමස්තයෙන් ලක්ෂ 1.6කට අධික පිරිසක් අයදුම්කර තිබූ බව සඳහන්.
එමෙන්ම විශේෂ අවශ්‍යතා සහිත අයදුම්කරුවන් 323 දෙනෙකු සඳහාද විශේෂ පහසුකම් සපයා තිබුණා.
2023 වසරේදී මෙම විභාගය පැවැත්වීමට සැලසුම් කර තිබුණද, ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබූ නඩු හේතුවෙන් එය අත්හිටුවීමට සිදුවිය.
පසුව සියලු නඩු කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව, දිවයින පුරා පවතින ගුරු හිඟයට විසඳුම් සැපයීමේ අරමුණෙන් මෙවර විභාගය පැවැත්වූ බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.




