දිවයිනේ පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ කල්තියා දැනුම්දීමේ නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
අද (25) පස්වරු 4.00 සිට හෙට (26) පස්වරු 4.00 දක්වා පැය 24ක කාලයක් සඳහා මෙම අනතුරු ඇඟවීම් බලපැවැත්වෙන බව සඳහන්.
ඒ අනුව, මට්ටම 2 “අවධානයෙන් සිටින්න” (Amber) අනතුරු ඇඟවීම් කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, දැරණියගල, රුවන්වැල්ල සහ යටියන්තොට ප්‍රදේශ සඳහාත්, රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, රත්නපුර, අයගම සහ ඇහැලියගොඩ ප්‍රදේශ සඳහාත් නිකුත් කර තිබෙනවා.
එමෙන්ම මට්ටම 1 “විමසිලිමත් වන්න” (Yellow) අනතුරු ඇඟවීම් කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක සහ පාදුක්ක, ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, මතුගම, බුලත්සිංහල, අගලවත්ත, ඉංගිරිය සහ හොරණ ප්‍රදේශ සඳහා නිකුත් කර තිබෙනවා.
ඊට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල, පැල්මඩුල්ල, නිවිතිගල, ඇලපාත සහ කලවාන යන ප්‍රදේශ සඳහාද මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
නායයෑම් පූර්ව ලක්ෂණ වන පොළොවේ පැලුම්, ගස් සහ විදුලි කණු ඇලවීම්, හදිසි උල්පත් මතුවීම් වැනි තත්ත්ව පිළිබඳව දැඩි විමසිල්ලෙන් සිටින ලෙසත්, අවශ්‍ය වුවහොත් ආරක්ෂිත ස්ථාන වෙත වහාම ඉවත් වීමට සූදානමින් සිටින ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවට දැනුම් දී තිබෙනවා.




