කහතුඩුව - දියගම මාර්ගයේ ඇඟලුම් සේවිකාවන් රැගෙන ගිය බස් රථයක් අද (25) පස්වරුවේ මාර්ගයෙන් ඉවතට පැන වෙල්යායකට පෙරළී අනතුරකට ලක්ව තිබෙනවා.
ශ්‍රී ලංකා පොලීසිය සඳහන් කළේ, අනතුරින් පුද්ගලයින් 19 දෙනෙකු සුළු තුවාල ලබා ඇති බවයි.
මාර්ගයේ ගමන් කළ වෙනත් වාහනයකට ඉඩ ලබාදීමට යාමේදී බස් රථය පාලනයෙන් තොරව මාර්ගයෙන් ඉවතට පැන ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
තුවාල ලැබූවන් අතරින් 17 දෙනෙකු හෝමාගම රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, එක් අයෙකු කළුබෝවිල ශික්ෂණ රෝහලට සහ තවත් පුද්ගලයෙකු වෑතර රෝහලට ඇතුළත් කර තිබෙනවා.
තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතළ නොවන බවද පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කළා.




