2022 වසරේ ගාලු මුවදොර “ගෝඨාගෝගම” අරගලයට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව මාසයක් ඇතුළත අධිචෝදනා ගොනු කිරීමට අපේක්ෂා කරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
අදාළ සිද්ධියේ සැකකරුවෙකු ලෙස ඔහුව නම් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නීතිපතිවරයා විසින් යොමු කළ ලිපියක් අභියාචනාධිකරණය විසින් බලරහිත කිරීම සම්බන්ධ තීන්දුවකට එරෙහිව ගොනු කළ ඇපෑලක් විභාගයට ගත් අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදු කර ඇත.
මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් මහතාගේ ප්‍රධානත්වයෙන් අචල වෙංගප්පුලි සහ සම්පත් විජේරත්න යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට දැනුම් දුන්නේ දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව මාසයක් තුළ අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කරන බවයි.
මේ අතර, විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා, අධිචෝදනා ගොනු කළහොත් නඩුකරය පවත්වාගෙන යාම ප්‍රශ්නකාරී විය හැකි බව අධිකරණයේදී පෙන්වා දී ඇත.
ඉදිරි කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම සැප්තැම්බර් 2 වැනිදා යළි කැඳවීමට නියම කර තිබේ.




