තායිලන්තයේ සිට “කුෂ්” සහ “හෑෂ්” මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ආ බවට චෝදනා ලැබූ චීවරධාරීන් 23 දෙනා ඇතුළු සැකකරුවන් 25 දෙනා ලබන ජුනි 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුබානි අබේසේකර මහත්මිය නියෝග කළාය.
අදාළ සැකකරුවන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉදිරිපත් කෙරුණු අතර, තුන්වන සැකකරු ලෙස නම් කර ඇති චන්ද්‍රකුමාර දයාරත්න නමැත්තා පමණක් විවෘත අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
අධිකරණයේදී මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ, රිමාන්ඩ් නඩු විශාල සංඛ්‍යාවක් කැඳවීම හේතුවෙන් සැකකරුවන් කුඩා සිරකුටිවල රඳවා තැබීම අපහසු බැවින් මාර්ගගත ක්‍රමය යටතේ නඩු කැඳවන බවයි.
අප්‍රේල් 25 වැනිදා තායිලන්තයේ සිට මෙරටට පැමිණි චීවරධාරීන් 22 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගනු ලැබුවේ ඔවුන් රැගෙන ආ ගමන් මලුවල තිබී “කුෂ්” සහ “හෑෂ්” මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 112ක් සොයා ගැනීමෙන් අනතුරුවය.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අමිතානන්ද නම් චීවරධාරියෙකු මෙම ජාවාරම මෙහෙයවා ඇති බවයි. ඔහු පසුව ගම්පහ ප්‍රදේශයේ විහාරස්ථානයක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන තිබුණි.
මේ අතර, මෙම ජාවාරමට සම්බන්ධ තවත් ප්‍රධාන සැකකරුවන් කිහිපදෙනෙකු හඳුනාගෙන ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය අධිකරණයට දැනුම් දී තිබේ. තවත් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි.




