ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කර මෙරටට ගෙන ආ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකුගෙන් ලැබුණු තොරතුරු මත, ද්විත්ව ඝාතනයකට සම්බන්ධ ගිනිඅවි සහ යතුරුපැදියක් සොයා ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය සමත්ව තිබෙනවා.
අදාළ සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී බොරැල්ල ප්‍රදේශයේ පාළු නිවසක වළ දමා තිබූ විදේශීය නිෂ්පාදිත 9mm වර්ගයේ රිවෝල්වර ගිනිඅවි දෙකක් සහ ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
මෙම ගිනිඅවි හා සම්බන්ධව ද්විත්ව ඝාතනයකට යොදාගත් යතුරුපැදියක්ද සොයාගෙන ඇති අතර, එම ඝාතනය ඉකුත් වසරේ බොරැල්ල ප්‍රදේශයේදී සිදුවූ බවද විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
විමර්ශනවලට අනුව, එම අපරාධය ඩුබායි සිටි සැකකරු විසින්ම මෙහෙයවා ඇති බවද පොලිසිය පවසනවා.
මේ අතර, ගිනිඅවි ප්‍රවාහනයට සහභාගී වූ බවට සැක කෙරෙන 46 හැවිරිදි සැකකාරියක්ද ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදුකරමින් පවතී.




