දිවයින පුරා පාසල් ක්‍රිකට් පුහුණුකරුවන්ගේ දැනුම හා කුසලතා සංවර්ධනය කිරීම අරමුණු කරගත් විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ආරම්භ කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිකට් පරිවර්තන කමිටුවේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහනේ සමාරම්භක සැසිය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පිහිටි උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේදී පැවැත්වුණා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුවේ සභාපති සිදත් වෙත්තමුණි මහතාගේ මගපෙන්වීම යටතේ පැවති මෙම වැඩසටහනට වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ටියර් ‘ඒ’ සහ ටියර් ‘බී’ තරගාවලි නියෝජනය කරන පාසල්වල පුහුණුකරුවන් 74 දෙනෙකු සහභාගී වී තිබෙනවා.
මෙහිදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ගැරී කර්ස්ටන් මහතා පැය දෙකක විශේෂ දේශනයක් පවත්වා නවීන පුහුණු ක්‍රමවේද සහ දක්ෂ තරුණ ක්‍රීඩකයන් බිහිකිරීම පිළිබඳ දැනුම හුවමාරු කළා.
ළමයින්ට ක්‍රිකට් ඉගැන්වීමේදී මිත්‍රශීලී සහ සහයෝගී පරිසරයක් නිර්මාණය කිරීමේ වැදගත්කමද ඔහු අවධාරණය කර තිබෙනවා.
ජයග්‍රහණවලට පමණක් අවධානය යොමු නොකර දක්ෂ ක්‍රීඩකයන් බිහිකිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙසද ගැරී කර්ස්ටන් මහතා පුහුණුකරුවන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
මෙම වැඩසටහන සඳහා ජාතික පන්දු යැවීමේ පුහුණුකරු රයන් වැන් නීකර්ක් සහ ජාතික පන්දු රැකීම හා ස්පින් පන්දු යැවීමේ පුහුණුකරු ජෝර්ඩන් ග්‍රෙගරි යන මහත්වරුන්ද එක්ව සිටියා.
ඉදිරියටත් මෙවැනි වැඩසටහන් නිරන්තරයෙන් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර තිබෙනවා.




