ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සේවක බඳවාගැනීම්, උසස්වීම් සහ ඉඩම් ගනුදෙනු සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) අවධානය යොමු වී ඇත.
2022–2023 වසරවල විගණකාධිපති වාර්තා සහ අධිකාරියේ වත්මන් කාර්යසාධනය සලකා බැලූ අවස්ථාවේදී, දේශපාලන බලපෑම් මත බඳවාගැනීම් සිදුවී ඇත්දැයි පරීක්ෂා කළ යුතු බව කමිටුව අවධාරණය කර තිබේ. එවැනි ක්‍රියා හේතුවෙන් ආයතනයේ සාමාන්‍ය පරිපාලන කටයුතු පවා අපහසු වී ඇති බවද සඳහන් විය.
මානව සම්පත් කළමනාකරණය මාස හයක ඇතුළත සකස් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති අතර, නඩු සම්බන්ධ මුදල් තැන්පතු හා අධිකාරියට එරෙහි නඩු පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද නිර්දේශ කර ඇත.
එමෙන්ම කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ඉඩමක් සම්බන්ධ ගනුදෙනුවක්ද කමිටුවේදී හෙළිදරව් වී ඇත. සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ලබාදුන් එම ඉඩම, පසුව විවිධ සමාගම් අතර හුවමාරු වී අවසානයේ නීතිමය ගැටලු රැසකට මුහුණදී ඇති බව සඳහන් වේ. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේද විමර්ශන පවතින බව නිලධාරීන් දැනුම් දී ඇත.
නාවල ප්‍රදේශයේ තවත් ඉඩමක් කොන්දේසි සහිතව පවරාදීමෙන් පසුව එය නැවත විකිණීම, උකස් කිරීම සහ හිමිකම් සම්බන්ධ විවාදාත්මක තත්ත්වයක් ඇතිවී ඇති බවද කෝප් කමිටුවේදී අනාවරණය වී තිබේ. මේ සම්බන්ධ නඩු කිහිපයක්ද අධිකරණයේ විභාග වෙමින් පවතී.
මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ පෙර පාසලක් පිහිටි ඉඩම් කොටස සම්බන්ධ ගැටලුවද මෙහිදී සාකච්ඡාවට ලක්විය.




