‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්යසාධක බලකාය යටතේ ක්‍රියාත්මක 5වන අනු කමිටුව වන සමාජ යටිතල පහසුකම් ප්‍රතිෂ්ඨාපන කමිටුව ජනාධිපති කාර්යාලයේදී සිව්වන වරටත් රැස්විය. එහි සභාපති ලෙස ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා සහභාගී විය.
දිට්වා සුළි කුණාටුවෙන් ඇතිවූ හානි හේතුවෙන් ආපදා පසු ප්‍රතිසාධන හා පුනරුත්ථාපන කටයුතු කඩිනමින් සම්බන්ධීකරණය කිරීම සඳහා ජාතික මට්ටමේ ක්‍රමවේදයක් ශක්තිමත් කිරීම මෙම වැඩපිළිවෙලේ අරමුණ ලෙස සඳහන් වේ.
රැස්වීමේදී යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණයේදී පැනනගින ප්‍රමාදයන්, ප්‍රතිපත්තිමය තීරණ අවශ්‍ය කරුණු සහ අංශ අතර සම්බන්ධීකරණ ගැටලු පිළිබඳව විශේෂ අවධානය යොමු විය.
අධ්‍යාපන, සෞඛ්‍ය, සමාජ සුබසාධන, රාජ්‍ය සේවා සහ සංස්කෘතික පහසුකම් ඇතුළු ක්ෂේත්‍ර රැසක යටිතල පහසුකම් ප්‍රතිෂ්ඨාපනය පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
ආපදා හේතුවෙන් හානි වූ යටිතල පහසුකම් පිළිබඳ ප්‍රගතිය නිරීක්ෂණය සඳහා දත්ත පද්ධති භාවිතය පුළුල් කිරීම ගැනද මෙහිදී අවධානය යොමු විය.
එසේම හලාවත, නුවරඑළිය සහ මහියංගණය රෝහල් ප්‍රතිසංස්කරණ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වැඩිදියුණු කිරීම සහ හානියට පත් රාජ්‍ය ගොඩනැගිලි සඳහා ප්‍රතිපාදන නිදහස් කිරීම පිළිබඳවද සලකා බැලිනි.
අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා අවධාරණය කළේ ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කරමින් ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බවය. එමෙන්ම විසඳී නොමැති ගැටලු ජනාධිපති කාර්යසාධක බලකාය වෙත ඉදිරිපත් කර තීරණ ලබා ගැනීමේ වැදගත්කමද ඔහු පෙන්වා දුන්නේය.
මෙම කමිටුව යළි ජූලි මාසයේදී රැස්වී ඉදිරි ප්‍රගතිය සමාලෝචනය කිරීමට නියමිතය.




