ශ්‍රී ලංකාවේ වෙසක් තොරණ ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වූ තොටළඟ තොරණේ ආරම්භය 1955 වසරේ ඉදිකළ මහා තොරණටත් පෙර, 1952 වසරේ නිර්මාණය කළ කුඩා පෙට්ටි තොරණකින් ආරම්භ වූ බව වාර්තා වේ.තොටළඟ ප්‍රදේශයේ පදිංචිව සිටි ප්‍රවීණ නාට්‍ය කතා රචකයෙකු වූ සංඝදාස මාස්ටර් විසින් සිය නිවස ඉදිරිපිට වෙසක් සමයේදී පළමු පෙට්ටි තොරණ නිර්මාණය කර ප්‍රදර්ශනය කර තිබේ. “හිතුවක්කාරී” වැනි ජනප්‍රිය නාට්‍ය කෘති රචනා කළ ඔහුගේ එම නිර්මාණය පසුව තරුණයන්ට මහත් ආශ්වාදයක් වී ඇත.එම පෙට්ටි තොරණ විශාල මට්ටමකට ගෙන යාමේ අරමුණින් ගමේ තරුණ පිරිසක් එක්ව සමිතියක් පිහිටුවා ගෙන ඇති අතර, ඒ හරහා 1955 වසරේදී තොටළඟ මහා වෙසක් තොරණ ඉදිකිරීම ආරම්භ කර තිබේ.
මෙම මහා තොරණේ නිර්මාතෘවරයා ලෙස සැලකෙන්නේ නාගලගම් වීදියේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ එච්. ඒ. විල්බට් පෙරේරා මහතාය. උසින් අඩි 85ක් පමණ වූ ඔහුගේ නායකත්වයෙන් ඉදිකළ පළමු තොටළඟ තොරණේ තේමාව වූයේ “මහා භද්‍ර කල්පය”යි.
මෙම තොරණ ඉදිකිරීමට ඔහුට අදහස පහළ වී ඇත්තේ කුඩා දරුවන් පිරිසක් සකස් කළ සිතුවම් තොරණක් දැකීමෙන් බව සඳහන් වේ. එම දරුවන් අතර පසුව ප්‍රසිද්ධ දේශපාලනඥයෙකු වූ කොල්වින් ආර්. ද සිල්වා ද සිටි බව කියැවේ.
විදුලි බුබුළු 25,000කින් අලංකාර වූ මෙම තොරණ සඳහා එවකට රුපියල් 7,500ක පමණ වියදමක් දරා තිබුණි. රටේ බොහෝ ප්‍රදේශවලට විදුලිය නොතිබූ සමයක ජෙනරේටර් භාවිතයෙන් තොරණට විදුලිය ලබාදී තිබීම ද විශේෂත්වයකි.
තොරණ ඉදිකිරීම සඳහා අවශ්‍ය පුවක් ගස් යටියන්තොට සහ රුවන්වැල්ල ප්‍රදේශවලින් කැළණි ගඟ ඔස්සේ ප්‍රවාහනය කර තිබේ.
එවකට අගමැතිවරයා වූ එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා විසින් මෙම තොරණ විවෘත කර ඇති අතර, එහි විවෘත කිරීමේ අවස්ථාවේ ගුවනින් මල් ඉසීම ද සිදුවූ බව සඳහන් වේ.එම තොරණ නැරඹීමට දින 12කට ආසන්න කාලයක් පුරා දිවයිනේ නන් දෙසින් ජනතාව පැමිණි බවයි. එවකට ප්‍රදේශයේ විදුලි ආලෝකය නොතිබූ බැවින්, රාත්‍රී කාලයේ පැමිණෙන ජනතාව සඳහා විලක්කු දල්වා මාර්ග ආලෝකමත් කර තිබෙනවා.
එය නැරඹූ ජපන් ජාතිකයන්ගේ ඉල්ලීමකට අනුව පසුව ජපානයේද ප්‍රදර්ශනය කර තිබේ.ප්‍රදර්ශනයෙන් අනතුරුව ජපානය විසින් තොරණ සඳහා භාවිත කළ විදුලි බුබුළු සහ අනෙකුත් උපකරණ තෑගි ලෙස පිරිනමා ඇති අතර, එය ශ්‍රී ලංකාවේ වෙසක් තොරණ සංස්කෘතියේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකේ.
එලෙස ආරම්භ වූ තොටළඟ තොරණ, පසුව ශ්‍රී ලංකාවේ වෙසක් තොරණ සංස්කෘතියේ සංකේතයක් බවට පත්විය.




