WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Entertainment

බූවල්ලන්ගේ ජානමය අභිරහස

පෘථිවි පරිණාමයේ සන්ධිස්ථානයක්ද? නැතහොත් පිටසක්වල ජීව උපකල්පනයක ආරම්භයක්ද?

T
Tharini
May 28, 2026 · 3 min read
161 viewsf𝕏W
බූවල්ලන්ගේ ජානමය අභිරහස

විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටවල දකින්නට ලැබෙන පිටසක්වල ජීවීන්ගේ බාහිර රූපකාය නිර්මාණය කිරීම සඳහා නිර්මාණකරුවන් බහුලවම පාදක කරගන්නේ සෙෆලපෝඩාවන් හෙවත් විශේෂයෙන්ම බූවල්ලන්වයි. විනෝදාස්වාදයෙන් ඔබ්බට යමින්, ඇතැම් විද්‍යාඥයන් පවා බූවල්ලන්ගේ අසාමාන්‍ය ජීව විද්‍යාත්මක ව්‍යුහය දෙස බලන්නේ දැඩි විස්මයකිනි. ඒ කෙතරම්ද කිවහොත්, සත්ව විද්‍යා ක්ෂේත්‍රය තුළ මොවුන්ගේ පරිණාමය පිළිබඳ පිටසක්වල සබඳතාවක් තිබේ යැයි පවා වරින් වර සාකච්ඡාවට බඳුන් වී තිබේ. බාහිරින් සරල බහු-හස්ත ජීවියෙකු ලෙස පෙනුනද, බූවල්ලෙකුගේ අභ්‍යන්තර ජීව විද්‍යාත්මක යාන්ත්‍රණය ඕනෑම සංකීර්ණ යන්ත්‍රණයකට වඩා ප්‍රබල මෙන්ම අද්භූත ලක්ෂණ රැසකින් සමන්විත වේ.

බූවල්ලන් සතු මෙම අධි-තාක්‍ෂණික ජීව විද්‍යාත්මක යාන්ත්‍රණය දෙස බැලීමේදී උන් සතු කායික ව්‍යුහය සැබවින්ම විස්මිතය. උන් සතුව හදවත් තුනක් පිහිටා ඇති අතර, ඉන් දෙකක් මඟින් ජලක්ලෝම වෙත ලේ පොම්ප කරන අතර ප්‍රධාන හදවත මඟින් ශරීරයේ සෙසු කොටස් වෙත රුධිරය සංසරණය කරවයි. එමෙන්ම ක්ෂීරපායින් මෙන් යකඩ අඩංගු හිමොග්ලොබින් වෙනුවට බූවල්ලන්ගේ රුධිරයේ අඩංගු වන්නේ තඹ බහුල හිමොසයනින් රසායනයයි. මේ හේතුවෙන් උන්ගේ රුධිරය නිල් පැහැයක් ගන්නා අතර අධික සීතල සහ ඔක්සිජන් අවම සාගර පතුලේ ජීවත් වීමට මෙමඟින් ඉහළ රුධිර කාර්යක්ෂමතාවක් ලැබේ. වඩාත්ම කැපී පෙනෙන ලක්ෂණය වන්නේ උන්ගේ විමධ්‍යගත ස්නායු පද්ධතියයි. බූවල්ලන්ට ප්‍රධාන මොළයකට අමතරව තවත් ස්නායු කේන්ද්‍ර අටක් පවතී. උන්ගේ සමස්ත ස්නායු පද්ධතියෙන් තුනෙන් දෙකක්ම පිහිටා ඇත්තේ අඬු තුළ බැවින්, ප්‍රධාන මොළයේ මැදිහත්වීමකින් තොරව සෑම අඬුවකටම ස්වාධීනව තීරණ ගැනීමට සහ පරිසරය ගවේෂණය කිරීමට සුවිශේෂී හැකියාවක් ලැබී ඇත.

මෙම සතුන් පිටසක්වල ජීවීන්ට සමාන කිරීමට විද්‍යා ලෝකයේ ප්‍රධානතම හේතුවක් වූයේ 2018 වසරේදී විද්‍යාඥයන් 33 දෙනෙකුගෙන් යුත් ජාත්‍යන්තර කණ්ඩායමක් විසින් Progress in Biophysics and Molecular Biology සඟරාවේ පළ කළ මතභේදාත්මක පර්යේෂණ පත්‍රිකාවයි. එහිදී ඔවුන් "පැන්ස්පර්මියා" (Panspermia) උපකල්පනය ඉදිරිපත් කරමින් කියා සිටියේ, මීට වසර මිලියන ගණනකට පෙර පෘථිවියට කඩා වැදුණු උල්කාපාත මඟින් පැමිණි ශීත කළ පිටසක්වල ජීවී බීජ හෝ වෛරස්, පෘථිවියේ සිටි මුල්කාලීන සෙෆලපෝඩාවන්ගේ පරිණාමීය පිම්මකට බලපාන්නට ඇති බවයි. මීට හේතුව ලෙස ඔවුන් පෙන්වා දුන්නේ බූවල්ලන් සතු විස්මිත ජානමය වෙනස්කම් සහ උන් සතු ආර්.එන්.ඒ සංස්කරණය (RNA Editing) කිරීමේ සුවිශේෂී හැකියාවයි. පෘථිවියේ බහුතරයක් ජීවීන් පරිසරයට අනුවර්තනය වීම සඳහා පරම්පරා ගණනාවක් තිස්සේ ඩී.එන්.ඒ වෙනස් කරගනිද්දී, බූවල්ලන්ට තමන්ගේ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය සහ ශරීර උෂ්ණත්වය පාලනය කරගැනීම සඳහා ක්ෂණිකව තමන්ගේ ආර්.එන්.ඒ ව්‍යුහය වෙනස් කරගැනීමේ අසිරිමත් හැකියාවක් පවතී.

සාමාන්‍යයෙන් පරිණාමීය ජීව විද්‍යාවේදී ඕනෑම සත්වයෙකුගේ ක්‍රමික විකාශනය තහවුරු කිරීමට මැද පුරුක් හෙවත් ෆොසිල සාක්ෂි උපකාරී වුවද, බූවල්ලන්ගේ පරිණාමීය ඉතිහාසයේ මෙවැනි පැහැදිලි සාක්ෂි හමුවන්නේ ඉතා අඩුවෙනි. උන් එකවරම පෘථිවිය පහළ වූවාක් මෙන් පෙනෙන්නේ මේ නිසා වුවද, මේ සඳහා පෘථිවි විද්‍යාඥයන් සතුව ඉතා තර්කානුකූල පැහැදිලි කිරීමක් ඇත. බූවල්ලන් යනු මෘදු ශරීර සහිත (Molluscs) සත්ව කොට්ඨාසයකි. උන් සතුව දැඩි අස්ථි පද්ධතියක් නොමැති නිසා, මියගිය පසු සිරුර ක්ෂණිකව දිරාපත් වන අතර ෆොසිල බවට පත්වීමේ සම්භාවිතාව විද්‍යාත්මකව අතිශය දුර්ලභ වේ.

ප්‍රධාන පෙළේ පරිණාමීය ජීව විද්‍යාඥයන් බහුතරයක් මෙම "පිටසක්වල ජීව බීජ" උපකල්පනය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන අතර, ඔවුන් පෙන්වා දෙන්නේ බූවල්ලන්ගේ ඩී.එන්.ඒ රටාව පෘථිවියේ වෙසෙන අනෙකුත් බෙල්ලන් වැනි මොලස්කාවන් සමඟ ජානමය වශයෙන් සමීප සබඳතාවක් දක්වන බවයි. ඒ අනුව බූවල්ලන් යනු පිටසක්වලින් පැමිණි ජීවීන් කොටසක් නොව, පෘථිවිය තුළදීම ස්වභාවධර්මයේ අතිශය දුර්ලභ සහ සංකීර්ණ පරිණාමීය මාවතක ගමන් කළ සුපිරි ජීවියෙකි. එසේ වුවද, තත්පරයකින් තමන්ගේ ශරීරයේ වර්ණය සහ මතුපිට ස්වභාවය අවට පරිසරයටම ගැලපෙන ලෙස සැඟවීම, වීදුරු බෝතල්වල පියන් ඇරගෙන පිටතට ඒමට තරම් ඇති ඉහළ ප්‍රජානන බුද්ධිය සහ මේ සංකීර්ණ ජාන ව්‍යුහය දකින ඕනෑම කෙනෙකුට, මොවුන් පෘථිවියට අයිති නැති තරම් අද්භූත ජීවීන් පිරිසක් ලෙස හැඟී යාම පුදුමයක් නොවේ.

Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
T
Previous
IMF සමාලෝචන අනුමැතියෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 695ක්
Next
කළුතර වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙකු මරුට

More in Entertainment