WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
HealthBreaking

WHO ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශ කරයි

I
Ishanka Jayasuriya
May 18, 2026 · 3 min read
258 viewsf𝕏W
WHO ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශ කරයි
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය (DRC) සහ උගන්ඩාව තුළ පැතිර යන නවතම ඉබෝලා ව්‍යාප්තිය “ජාත්‍යන්තර මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක්” ලෙස ප්‍රකාශ කර තිබෙනවා.
මෙවර ව්‍යාප්තියට හේතුව වී ඇත්තේ “බුන්ඩිබුග්යෝ” (Bundibugyo) නම් ඉබෝලා වෛරස් ප්‍රභේදයයි. මෙය ඉබෝලා රෝගය ඇති කරන Orthoebolavirus වර්ගයට අයත් වෛරස් කිහිපයකින් එකක් බව WHO පවසයි.
කෙසේවෙතත්, මෙම තත්ත්වය තවමත් “වසංගත හදිසි තත්ත්වයක්” (pandemic emergency) ලෙස සලකා නොමැති බවද WHO සඳහන් කරයි. එහෙත් රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම, සැකසහිත මරණ 80කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වීම සහ අනුමත එන්නතක් නොමැති වීම හේතුවෙන් රෝගය පාලනය කළ හැකිද යන්න පිළිබඳව දැඩි කනස්සල්ලක් පවතිනවා.
ඉබෝලා කියන්නේ මොකක්ද?
ඉබෝලා යනු බරපතළ හා බොහෝවිට මරණයට පත්කරන රෝගයකි. ආසාදිත පුද්ගලයෙකුගේ ශරීර දියර සමඟ සෘජුව සම්බන්ධ වීමෙන් එය පැතිර යයි.
ආසාදිත පුද්ගලයෙකු භාවිත කළ ද්‍රව්‍ය හෝ රෝගයෙන් මියගිය පුද්ගලයෙකුගේ සිරුර සමඟ සම්බන්ධ වීමෙන්ද රෝගය බෝවිය හැකියි.
ප්‍රධාන ලක්ෂණ ලෙස,
උණ
දැඩි දුර්වලතාවය
මාංශ පේශි වේදනාව
හිසරදය
උගුරේ වේදනාව
ඇතුළු ලක්ෂණ පළමුව පෙනී යන අතර පසුව,
වමනය
අතීසාරය
උදර වේදනාව
අභ්‍යන්තර හා බාහිර රුධිර වහනය
වැනි තත්ත්වයන් දක්නට ලැබිය හැකියි.
ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව
DRC හි ඉටුරි (Ituri) පළාතෙන්,
සැකසහිත මරණ 80කට වැඩි සංඛ්‍යාවක්
රසායනාගාරයෙන් තහවුරු කළ රෝගීන් 8 දෙනෙක්
සැකසහිත රෝගීන් 246ක්
වාර්තා වී තිබෙනවා.
කොංගෝ අගනුවර වන කින්ෂාසාහි (Kinshasa) එක් රෝගියෙකු හඳුනාගෙන ඇති බව මුලින් WHO ප්‍රකාශ කළද, පසුව එම පුද්ගලයා Bundibugyo වෛරසයට ඍණාත්මක බව තහවුරු කර තිබුණා.
උගන්ඩාවේ අගනුවර වන කම්පාලාහි,
තහවුරු කළ රෝගීන් 2 දෙනෙක්
එක් මරණයක්
වාර්තා වී තිබෙනවා. එම රෝගීන් දෙදෙනාම DRC සිට ගමන් කර තිබූ බව සඳහන්.
රෝගය කොතරම් මාරාන්තිකද?
WHO අනුව ඉබෝලා රෝගයේ මරණ අනුපාතය පෙර ව්‍යාප්තිවලදී 25% සිට 90% දක්වා වෙනස් වී තිබෙනවා.
සාමාන්‍ය මරණ අනුපාතය 50% පමණ වේ.
මෙවර පැතිරෙන Bundibugyo ප්‍රභේදයේ මරණ අනුපාතය 25% සිට 40% අතර විය හැකි බව “Doctors Without Borders” (MSF) සංවිධානය සඳහන් කරයි.
ප්‍රතිකාර හෝ එන්නතක් තිබේද?
දැනට Bundibugyo වෛරසයට විශේෂිතව අනුමත කළ ප්‍රතිකාර හෝ එන්නත් නොමැති බව සෞඛ්‍ය විශේෂඥයින් පවසනවා.
මීට පෙරත් මෙවැනි ව්‍යාප්ති තිබුණාද?
ඔව්. Bundibugyo ප්‍රභේදය සම්බන්ධයෙන්,
2007 – 2008 කාලයේ උගන්ඩාවේ
2012දී DRC තුළ
ව්‍යාප්ති වාර්තා වී තිබුණා.
1976දී පළමු ඉබෝලා රෝගියා හඳුනාගැනීමෙන් පසු DRC තුළ ඇතිවූ 17වැනි ඉබෝලා ව්‍යාප්තිය මෙයයි.
මෙය ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශ කළේ ඇයි?
WHO පවසන්නේ,
රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම
සැකසහිත මරණ වැඩි වීම
දේශසීමා හරහා රෝගය පැතිරීමේ අවදානම
වාර්තා වන ප්‍රමාණයට වඩා විශාල ව්‍යාප්තියක් පැවතිය හැකි බව
මෙම තීරණයට හේතු වූ බවයි.
DRC සමඟ දේශසීමා බෙදාගන්නා රටවල් සඳහාද “ඉහළ අවදානමක්” පවතින බව WHO අනතුරු අඟවා තිබෙනවා.
ව්‍යාප්තිය පාලනයට ගන්නා ක්‍රියාමාර්ග
ඇමරිකානු CDC ආයතනය,
නිරීක්ෂණ
සම්බන්ධතා සොයාගැනීම
රසායනාගාර පරීක්ෂණ
සඳහා DRC සහ උගන්ඩාවේ කාර්යාල හරහා සහය ලබාදෙමින් සිටිනවා.
එමෙන්ම,
ගුවන් ගමන් මගින් රෝගය පැතිරීම වැළැක්වීමට පිටවීමේ පරීක්ෂණ
ජාත්‍යන්තර සම්බන්ධීකරණ වැඩසටහන්
හදිසි ප්‍රතිචාර කණ්ඩායම්
ද ක්‍රියාත්මක කරමින් පවතිනවා.
WHO අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අධානොම් ගෙබ්‍රෙයෙසස් පවසන්නේ, මෙම තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට ඉක්මනින් හදිසි කමිටුවක් කැඳවන බවයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ඉරානයේ සිවිල් ජනතාවට ආරක්ෂක අවි පුහුණු වැඩසටහන්
Next
17 වැනි විරු දිනය – රට වෙනුවෙන් දිවි පිදූ අමරණීය වීරයන්ගේ සැමරුම

More in Health