රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය Andrey Rudenko මහතා සහ ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙහිදී අදහස් දැක්වූ රුසියානු නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, ශ්‍රී ලංකාව අතිශය සුන්දර රටක් වන අතර එහි ජනතාව ඉතා සුහදශීලී බව රුසියානු සංචාරකයන්ගෙන් දැනගැනීමට ලැබුණු බවයි. තවද දෙරට අතර පවතින දිර්ඝකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරන බවටද ඔහු සහතික විය.
ශ්‍රී ලංකාවට අවශ්‍ය අවස්ථාවලදී සහයෝගය ලබාදීමට රුසියාව සූදානම් බව සඳහන් කළ ඔහු, රුසියානු තෙල් කඩිනමින් සැපයීම, ආයෝජන වැඩි කිරීම සහ සංචාරකයන් වැඩි වශයෙන් මෙරටට යොමු කිරීම සඳහා කටයුතු කරන බවද ප්‍රකාශ කළේය.
එමෙන්ම රුසියාවේදී මියගිය ශ්‍රී ලාංකික ආරක්ෂක අංශ සාමාජිකයන්ට වන්දි ලබාදීමටද අවශ්‍ය පියවර ගන්නා බවට එකඟතාව පළ විය.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය විජිත හේරත් මහතා, ශ්‍රී ලංකාව දැඩි බලශක්ති අවශ්‍යතාවයකට මුහුණ දෙන මෙම අවස්ථාවේ රුසියාවෙන් ලැබෙන සහයෝගය මහත් ලෙස අගය කරන බව ප්‍රකාශ කළේය. තවද දෙරට අතර දිගුකාලීන වෙළෙඳ සහ ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.




